Mojito වලට වදිනවද…?

1500 ගණන් වලදී සර් ෆ්‍රැන්සිස් ඩ්‍රේක් ස්පාඤ්ඤයට එනවා. දැන් ඔයාල කල්පනා කරනවා ඇති ෆ්‍රැන්සිස් ඩ්‍රේක් කියන්නෙ කවුද කියලා. ෆ්‍රැන්සිස් ඩ්‍රේක් කියන්නේ ඉංග්‍රීසි ජාතිකයන්ට වීරයෙක් ලෙසත් ස්පාඤ්ඤ ජාතිකයන්ට “El D​raque” නමින් මුහුදු කොල්ලකාරයෙක් ලෙසත් ප්‍රසිද්ධියට පත් වූ, 1588දී ස්පාඤ්ඤ නැව් කන්ඩායමට එරෙහිව සටන් මෙහෙයවූ නැව් සමූහයේ දෙවන ප්‍රධාන අණ දෙන නිළධාරියායි. ඉතිං පොර ස්පාඤ්ඤයට එන්නේ ආක්‍රමණයකට. නමුත් ඒ ආක්‍රමණය අසාර්ථක වෙනවා. ඊට ප්‍රධානම හේතුවක් වෙන්නේ ඔහුගේ කාර්යය මණ්ඩලයට අතීසාර වසංගතයට මුහුණදීමට සිදු වීම. ඔවුන් එයින් පීඩා විදින බව දැනගත් දකුණු ඇමරිකානු රතු ඉන්දියානු කණ්ඩායමක් කියුබානු වෙරළට පැමින මින්චි කොළ (mint), උක් සහ දෙහි වලින් සමන්විත වූ ඖෂධීය පානයක් ලබා දෙනවා. එය ඔවුන් හදුන්වන්නේ “Aguardiente de Cana” හෙවත් “Firewater of sugar cane” යන නමින්. එහි ඖෂධීය බවටත් වඩා එහි ඇති රස නිසා නාවිකයන් අතර මෙය මත්පැන් සදහා හොද සැන්ඩියක් බවට පත් වෙනවා. මොවුන් එයට බ්‍රැන්ඩි, රම්, සෝඩා, ඉගුරු ආදිය මිශ්‍ර කර එක් එක් පානයන් සදා ගන්නවා. එය පසුව කපිතාන් ඩ්‍රේක් විසින් එය “El Draque” නමින් ස්පාඤ්ඤය පුරා ප්‍රසිද්ධ කරනවා.

නමුත් මොහීටෝ (Mojito) උපන් ස්ථානය ලෙස ජනප්‍රිය වී ඇත්තේ කියුබාවේ හවානාහි පිහිටා තිබූ “La Bdeguita del Medio” නම් වූ සාමාන්‍යය අවන්හලයි. දැන් එය ප්‍රසිද්ධ සංචාරක ගමනාන්තයක් ලෙස ප්‍රසිද්ධ වී තිබෙන්නේ එයට අනුග්‍රහය දැක්වූ පෞරෂයන් නිසායි. අර්නස්ට් හෙමින්වේ, පැබ්ලෝ නෙරූඩා, ගේබ්‍රියල් ගාර්ශියා මාකේස්, ඔගස්ටින් ලාරා ආදී කතුවරුන් තමාගේ කවි, කෙටි කතා වල මෙම ස්ථානයෙහි තිබූ මොහිටෝව ගැන තම නිර්මාණයන් වල සදහන් කරනවා. ඒ නිසාම මෙම ස්ථානයට ඉතාමත් විශාල ප්‍රසිද්ධියක් හිමිවනවා. මෙම ස්ථානයේ අලෙවි වූ මොහීටෝවේ අඩංගු වූයේ අප අද පානය කරන මොහීටෝවේ අඩංගු වන රම්, මින්ට්, සීනි, ලෙම​න්, සහ ක්ලබ් සෝඩායි. එම නිසා වර්ථමාන මොහීටෝවේ ආරම්භය ලෙස “La Bdeguita del Medio” දැක්විය හැකියි. ඒත් 1997 “La Bdeguita del Medio” අවන්හල බෝම්බ ප්‍රහාරයක් නිසා මුලුමනින්ම විනාශවන අතර වර්තමානයේ පවතින “La Bdeguita del Medio” අවන්හල් ජාලය පැරණි අවන්හල සමග කිසිදු සම්භන්ධතාවක් නොමැති නමුත් එයද “mocktail” සදහා ප්‍රසිද්ධියක් උසුලයි.

ස්පාඤ්ඤ වචනයක් වන මෙම මොහීටෝ යන වදනේ තේරුම “මදක් තෙත” යන්නයි. කියුබාවේදී දෙහි මත පදනම් වූ කුළුබඩුවක් වන මොජෝ වලටද ඇතැම් විට මොහීටෝ ලෙසින් භාවිතා කර ඇත. මොහීටෝව සාමාන්‍ය ගිම්හාන කොක්ටේල් පානයක් ලෙස ජනප්‍රිය වන්නේ 2002දී තිරගත වූ “James Bond - Die Another Day” චිත්‍රපටයේ බොන්ඩ් හා ජින්ක්ස් වෙරල තීරයක මොහීටෝ පානය කරන දර්ශණයෙන් පසු බව ඇතැම් සිනමාවේදී කොක්ටේල් ලෝලීන්ගේ මතයයි. පසු කාලීනව බකාඩි (Bacardi) සමාගමේ වෙළද ප්‍රචාරණය නිවසේදීම මොහීටෝ සාදා ගැනීම සමග කේන්ද්රගතව තිබූ නිසා වර්තමානයේ බොහෝදෙනා මොහීටෝ නම් බකාඩි කියන තරමටම එය බකාඩි සමග බද්ද කර තිබේ.

වර්තමානය වන විට මොහීටෝවේ විවිධ ප්‍රභේද පවා බිහිවී තිබෙන බව ඔබ මොහීටෝ ලෝලියෙක් නම් දැනටමත් දන්නවා ඇති. මෙක්සිකානු මොහීටෝව​ට (Mexican Mojito) රම් (Rum) වෙනුවට ටෙකීලා (Tequila) එකතුකරයි. වර්ජින් මොහීටෝ (Virgin Mojito) ලෙස හදුන්වන්නේ මත්පැන් නොමැතිව පිළියෙල කරනු ලබන මොහීටෝවයි. ඩාක් ස්පයිස්ඩ් රම් (dark spiced rum) සහ දුඹුරු සීනි සහ දෙහි ගෙඩි සහිත මොහීටෝව ඩර්ටි මොහීටෝ (Dirty Mojito) ලෙස හදුන්වයි. රම් සහ සෝඩා වෙනුවට ජින් සහ ස්ප්‍රයිට් සහිත මොහීටෝව ඉංග්‍රීසි මොහීටෝවයි (English Mojito) ( ඇතැම් විට ඔවුන් පිපිඤ්ඤද එකතු කරනු ළබයි ). මොහීටෝ රෝයල් (Mojito Royal) ලෙස හදුන්වන්නේ සෝඩා වෙනුවට ආදේශකයක් ලෙස ෂැම්පේන් (Champagne) භාවිතා වන මොහීටෝවයි. ග්‍රීක මොහීටෝ (Greek Mojito) යනු රම් වෙනුවට මෙටැක්සා (Metaxa) සමඟ පානය කරන මොහීටෝවයි. මැලිබු මොහීටෝ (Malibu Mojito) යනු සෝඩා වෙනුවට පොල් වතුර භාවිතා වන මොහීටෝවයි. ලචී (Lychee Mojito) මොහීටෝ යනූ චීනයෙන් හෝ තායිලන්තයෙන් ආනයන කරනු ලබන ටින් කල ලචී එකතු කර සාදන මොහීටෝවයි. දෙළුම් යුෂ මොහීටෝ යනු සෝඩා වෙනුවට දෙළුම් යුශ භාවිතා කර සාදන මොජිටෝවයි.

#Thrimaz

Thrimaz, Mojito, Sinhala, Food, Srilanka

 

Comments